කටකන්දර වාසී ඵුස්සදේව
තෙරුන් වහන්සේ
කටකන්දර වාසී ඵුස්සදේව තෙරුන් වහන්සේ එක්
දවසක් චෛත්‍ය මලුව ඇමද නික මල් ඇතිරුවාක් මෙන් සමතලා වූ වැලි ඇති සෑ
මලුව දෙස බලමින් බුද්ධාලම්බන ප්‍රීතිය උපදවාගෙන සිටියහ. ඒ වෙලාවෙහි මාරයා පර්වත
පාදයේ උපන් කළු වඳුරෙකු මෙන් පෙනී සිට සෑ මලුවෙහි ගොම විසිරුවමින් ගියේය. ඒ කරදරය
නිසා තෙරුන් වහන්සේට එදින රහත්විය නොහැකි විය. උන් වහන්සේ නැවත සෑ මලුව ඇමද
පිරිසිදු කොට වැඩම කළහ. පසු දින තෙරුන් වහන්සේ සෑ මලුව ඇමද බුද්ධාලම්බන ප්‍රීතිය
උපදවා බලා සිටින කල්හි මාරයා මහලු ගවයෙකුගේ වෙසින් පැමිණ පෙර ලෙසම විකාර කොට
ගියේය. තෙරුන් වහන්සේට එදිනද රහත්විය නොහැකි විය.
තුන්වන දිනයේ තෙරුන් මලුව ඇමද බලා සිටි
කල්හි මාරයා කොරකුගේ වේශයෙන් පැමිණ, බිම පා
අදිමින් ඇවිද, තෙරුන්
වහන්සේගේ සිත අවුල් කළේය. තෙරුන් වහන්සේ ඔහු දෙස බලා මෙවැනි භයානක පුද්ගලයෙක් මේ
අවට යොදුනක් පමණ ප්‍රදේශයේ වත් නැත. මොහු මාරයා වත් දැයි සිතා "නුඹ මාරයා
දැ" යි ඇසූහ. "එසේය අද නුඹ රවටන්නට නොහැකි වීයැ" යි කීවේය.
තෙරුන් වහන්සේ "නුඹ බුදුරජාණන් වහන්සේ
දැක ඇත්තේ දැ" යි විචාළහ. "එසේය" යි මාරයා පිළිතුරු දුන්නේය.
"මාරයා නම් මහා ආනුභාව සම්පන්න පුද්ගලයෙකි. ඔබට හැකි නම් භාග්‍යවතුන්
වහන්සේගේ රූපය වැනි රූපයක් මවා පෙන්වන්න" ය යි තෙරණුවෝ කීහ. මාරයා
"හිමියනි, සර්වාකාරයෙන්
බුදුන් වහන්සේට සමාන රුවක් මා හට මැවිය නොහැක. එහෙත් තරමක සමාන රුවක් මවා
පෙන්වමි" යි කියා තථාගත
වේශයෙන් ඔහු පෙනී සිටියේය. තෙරුන් වහන්සේ ඒ බුදු රුව බලා, කෙලෙස් සහිත වූ මේ
මාරයා මෙපමණ හොබනේ නම් නික්ලේශී වූ තථාගතයන් වහන්සේ කෙසේ වන්නට ඇතිදැයි
බුද්ධාලම්බන ප්‍රීතිය ලබා විදසුන් වඩා එතැනදීම අර්හත්වයට පැමිණි සේක. මාරයා
"ඔබ මා රැවටුවෙහි" ය යි කීය. "මාරය, කුමට නුඹ රවටන්නෙම්දැ" යි තෙරුන්
වහන්සේ කීහ.