බුදු ගුණ පිළිබඳ ලිපි මාලාව – ලිපි අංක 02

මෙම ලිපි මාලාව දිගහැරෙන්නේ පූජ්‍ය කහගොල්ලේ සෝමවංස ස්වාමීන් වහන්සේගේ දේශනා ඇසුරින් ධර්ම දානයක් ලෙසින් ඉදිරිපත්කොට ඇති නව අරහාදී බුදුගුණ භාවනාව ග්‍රන්ථය ඇසුරිනි.


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සෝ භගවා ඉතිපි අරහං


සෝ භගවා ආරකත්තා ඉතිපි අරහං
සෝ භගවා ලෝභ කිලේස වත්ථුතෝ ආරකත්තා ඉතිපි අරහං
සෝ භගවා දෝස කිලේස වත්ථුතෝ ආරකත්තා ඉතිපි අරහං
සෝ භගවා මෝහ කිලේස වත්ථුතෝ ආරකත්තා ඉතිපි අරහං
සෝ භගවා මාන කිලේස වත්ථුතෝ ආරකත්තා ඉතිපි අරහං
සෝ භගවා දිට්ඨි කිලේස වත්ථුතෝ ආරකත්තා ඉතිපි අරහං
සෝ භගවා විචිකිච්ඡා කිලේස වත්ථුතෝ ආරකත්තා ඉතිපි අරහං
සෝ භගවා ථීන කිලේස වත්ථුතෝ ආරකත්තා ඉතිපි අරහං
සෝ භගවා උද්ධච්ඡ කිලේස වත්ථුතෝ ආරකත්තා ඉතිපි අරහං
සෝ භගවා අහිරික කිලේස වත්ථුතෝ ආරකත්තා ඉතිපි අරහං
සෝ භගවා අනෝත්තප්ප කිලේස වත්ථුතෝ ආරකත්තා ඉතිපි අරහං
සෝ භගවා අරීනං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා සෝතාපත්ති මග්ගේන අරීනං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා සකදාගමී මග්ගේන අරීනං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා අනාගාමී මග්ගේන අරීනං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා අරහන්ත මග්ගේන අරීනං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා අරානං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා අරිය මග්ගේන අවිජ්ජා අරානං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා අරිය මග්ගේන සංඛාර අරානං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා අරිය මග්ගේන විංඤ්ඤාන අරානං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා අරිය මග්ගේන නාමරූප අරානං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා අරිය මග්ගේන සලායතන අරානං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා අරිය මග්ගේන ඵස්ස අරානං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා අරිය මග්ගේන වේදනා අරානං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා අරිය මග්ගේන තන්හා අරානං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා අරිය මග්ගේන උපාදාන අරානං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා අරිය මග්ගේන භව අරානං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා අරිය මග්ගේන ජාති අරානං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා අරිය මග්ගේන ජරාමරණ අරානං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා ආමිස පූජාය අරහත්ත අරහං
සෝ භගවා පටිපත්ති පූජාය අරහත්ත අරහං
සෝ භගවා පාප කරණෝ රහා භාවා ඉතිපි අරහං

ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමෙන් අපමණ අනුසස් ලැබෙන බව ධර්‍මයේ සඳහන් වෙනවා.

  1. අස්සුතං සුණාති – නොඇසූ දේ ඇසීම
  2. සුතං පරියොදපෙති – ඇසූ දේ නිවැරදි කිරීම
  3. කංඛං විතරති – සැක දුරු කර ගැනීම
  4. දිට්ඨිං උජුං කරෝති – සම්‍යක් දෘෂ්ටිය ලැබීම
  5. චිත්ත මස්ස පසීදති – සිත පැහැදීම

බණ ඇසීමෙන් මරණින් මතු සුගති ගාමී වීමද, ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබීමද, භෝග සම්පත්තිය ලැබීමද, ආදී සියල්ල ලැබෙනවා. නිර්වාණ සම්පත්තිය ලබාගැනීමට හැකි වෙනවා.නිවන් දකින තුරු නොයෙක් සැප සම්පත් ලබාගත හැකි වෙනවා. විෂේශයෙන් ප්‍රඥාව ලැබෙනවා. නිවන් සුව ප්‍රාර්ථනා කරගෙන බණ ඇසීම කළ යුතුයි. දෙව් ලොව බඹ ලොව සැප සම්පත් ප්‍රාර්තනා කරගෙන බණ ඇසීම නොකළ යුතුයි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරා සාගර පහක්. එනම්,

  1. ගුණ සාගරය
  2. ඥාණ සාගරය
  3. නය සාගරය
  4. සංසාර සාගරය
  5. ජල සාගරය

ගුණ සාගරය ලෙස හඳුන්වන්නේ බුද්ධ සන්තානයෙහි පහළ වූ අනන්ත ගුණයයි. ඒවා ගණන් කිරීමට නොහැකි බැවින් සාගරය කියා හඳුන්වනවා. ඒ සියලුම ගුණ ඇතුලත් කරමින් නව අරහාදී ගුණ පාඨය දේශනා කළා. සියලූම බුදුගුණ එම පාඨයට ඇතුලත් වෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් තම ජීවිත කාලයේ වෙන ධර්‍ම දේශනා නොකර බුදුගුණ පමණක් දේශනා කළොත් ජීවිතය අවසන් වුවත් බුද්ධ ගුණ දේශානාව කියා අවසන් කරන්න බෑ. දේශනා කිරීමට තිබෙන බුදුගුණ අනන්ත වෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහල වීමේදී පමණක් අසන්නට ලැබෙන දේශනාවකි.
බුදුරජාණන් වහන්සේ ද සමහර අවස්ථාවලදී බුදුගුණ දේශනා කර තිබෙනවා. කාලකාරාම සූත්‍ර දේශනාව විශේෂයි. මහා පෘතුවිය කම්පා කරවමින් එම සූත්‍රය දේශනා කළා. එම නිසා සියලුම දෙනා බුදුගුණ අහන්න ඕනෑ. බුදුගුණ කියන්න ඔනෑ. බුදුගුණ සජ්ඣායනා කරන්න ඔනෑ. එමගින් කාමච්ඡන්දය, තරහව,අලසකම, සිතේ විසිරීම, සැකය පහව යනවා. සිත සමාධි ගත වෙනවා. ගුණ නුවණ දියුණු වෙනවා. සුළු මොහොතකදී අර්හත්වයෙන් අමා මහ නිවන් සුව අවබෝධ කර ගැනීමට වාසනාව ලැබෙනවා.
ඒක ධම්මෝ භික්කවේ භාවිතෝ බහුලීකතො ඒකන්ත නිබ්බිදාය, ඒකන්ත විරාගාය, ඒකන්ත නිරෝධාය, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බානාය, සංවත්තති. කතමෝ ඒක ධම්මෝ බුද්ධානුස්සති.
මහණෙනි, එක ධර්මයක් මෙනෙහි කිරීමෙන් නැවත නැවත මෙනෙහි කිරීමෙන් ඒකාන්තයෙන් සංසාරයෙන් එතෙර වීම සඳහාද, ඒකාන්තයෙන් විරාගය පිණිසද, ඒකාන්තයෙන් කෙළෙස් නිරෝධය පිණිසද, සියලු කෙලෙස් සංසිඳවා ගැනීම පිණිසද, විෂිශ්ඨ ඥානය පිණිසද, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීම පිණිසද හේතු වේ. එනම් කවර එක් ධර්මයක්ද ඒ බුද්ධානුස්සති භාවනාවයි.
මේ දේශනා පාඨයෙන් කියවෙනවා බුදුගුණ මෙනෙහි කිරීමෙන් ලැබෙන මෙලොව පරලොව ආනිසංස. සතර ඉරියව්වේදම බුදුගුණ මෙනෙහි කිරීමට උත්සාහ ගත යුතුය. මෙලොවදීම අසනීප, අපල උපද්‍රව, සතුරු කරදර, බිය නැතිකරගැනීමට දුරු කරගැනීමට හැකි වෙනවා. සුවසේ ජීවත් විමට ලැබෙනවා. තම ජීවිතය ධාතු කරඬුවක් වාගේ වෙනවා.
ඥාණ සාගරය  කියන්නේ බුද්ධ සන්තානය තුල පහළ වූ අනන්ත ඥාණ සාගරයි. තෙසැත්තෑ ඥාණ, සතර සැත්තෑ ඥාණ, චුද්දස බුද්ධ ඥාණ, ෂට් අසාධාරණ ඥාණ, සුවිසි ප්‍රත්‍ය ඥණ, සූවිසි පට්ඨාන ඥාණ, දස මහා විදර්ශනා ඥාණ, සතර මාර්ග ඥාණ, සතර ඵල ඥාන ආදී ඥාණ සාගරයකි. ගණන් කිරීමට නොහැකි අනන්ත අපරිමාන ඥාණ ඇති බැවින් බුද්ධ සන්තානය ඥාන සාගරයකි. ඥාණ අතරින් ෂට් අසාධාරණ ඥාණ හය විශේෂ තැනක් ගන්නවා. ඉන්ද්‍රීය පරෝ පරියන්තේ ඥාණය, ආසයානුසයේ ඥාණය, යමක ප්‍රාතිහාර්ය ඥාණය, මහා කරුණා සමාපත්ති ඥාණය, සබ්බඤ්ඤුත ඥානය, අනාවරණ ඥාණයයි.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මෙම ඥාණ හය සම්බන්ධ කර ගනිමින් අති විශාල සේවයක් සිදු කරනවා. උන් වහන්සේට අපගේ උත්තමාංග නමස්කාරය වේවා.
දේශිත ධර්මය නය සාගරය වෙනවා. සංසාර ගමනේ ඉපදීම, මැරීම, ඉපදීම, මැරීම සිදු වෙනවා. එයද සීමාවක් නොමැත. එයව කියනවා සංසාර සාගරය කියා. මහා මුහුඳ අති විශාල වස්තුවක්. එහි අඩංගු ජලය මනින්න බැහැ. සංඛ්‍යා කරන්න බැහැ. එම නිසා එයට ජල සාගරය කියනවා.
ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේද අරහං නම් වන සේක.
අරහං යනු සියලු ආමිස පූජා, සියලු ප්‍රතිපත්ති පූජා වලට සුදුසුයි යන අර්ථයයි. එපමනක් නොව මෙයින් කවර කවර ගුණයක් නිසා අරහං වෙනවාද කියා විස්තර වෙනවා.
“සෝ භගවා ආරකත්තා ඉතිපි අරහං” ඒ භාග්‍යවතුන් වහන්සේ වාසනා සහිතවූම සකල ක්ලේශයන් කෙරෙන් දුරු වූ බැවින් අරහං නම් වන සේක. 1500ක් පමන වූ කෙලෙස් සංසාර ගති පැවැතුම් සහිතව ප්‍රහාණය කළ නිසා අරහං නම් වෙනවා.  බුද්ධ සන්තානයෙහි සියලුම පාප සතිවිලි තමන් වහන්සේගේ පාරමී බලයෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අභියසදී ප්‍රහාණය කළා. තමන් වහන්සේගේ චිත්ත සන්තානය ඉතාම පිරිසිදු විය. සූර්ය මණ්ඩලය මෙන් චන්ද්‍ර මණ්ඩලය මෙන් සිත ආලෝකමත් විය.
ඒ මොහොතේ පටන් තථාගතයන් වහන්සේ අරහං නම් වන සේක. උන් වහන්සේගේ ගමන සංවර වූහ. කථාව, පැවැත්ම, සිවුපස පරි‍භෝගය, ගමන බිමන ඉතාම සංවර වූහ. දකින දකින සියලු දෙනාගේ චිත්ත සන්තාන ප්‍රබෝධමත් වුණා. උන් වහන්සේ දැකීමෙන් බොහෝ දෙනා ච්ත්ත ප්‍රසාදයට පත්ව බුද්ධ සාසනය වැළඳගත්තා. තෙරුවන් සරණ ගියා. මගඵල නිවන් අවබෝධ කරගත්තා.
උන් වහන්සේට යම් කෙනෙක් යමක් පූජා කරනවා නම් අපමණ අනුසස් ලැබෙනවා. වන්දනා කළ පමණින් සිත පහදවා ගත් පමණින් අපමණ අනුසස් ලැබෙනවා.
සුමන මල් කරුවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා සමන් මල් පූජා කළ පිනෙන් නිවන් දකින තුරු සුගතියක වාසය කිරීමට වාසනාව ලබාගත් අතර, සුමන නමින් පසේ බුදු බව ලබා ගන්නා බවද පෙන්නුම් කරනවා. සියලුම පාපයන්ගෙන් මිදුන නිසා බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක.
ඒ භාග්‍යවත් වූ අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝභ ක්ලේශ වස්තුවෙන් දුරුවූ හෙයින් අරහං නම් වන සේක. ලෝභය, තණ්හාවථ කාමච්ඡන්දය යනුවෙන් සඳහන් වන්නේ පඤ්ච කාම වස්තූන් කෙරෙහි ඇති ඇලීමයි. මේ තණ්හාව 108 වැදෑරුම් වෙනවා. සියලුම සිත් වලට මෙය එක සේ බලපානවා. 108 වැදෑරුම් තෘෂ්ණාව ප්‍රහාණය කළ බැවින් බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක.
  1. කාම තණ්හා
  2. භව තණ්හා
  3. විභව තණ්හා

රූප තණ්හා
ශබ්ද තණ්හා
ගන්ධ තණ්හා
රස තණ්හා
පොට්ටබ්බ තණ්හා
ධම්ම තණ්හා
3 X 6 =18

අජ්ඣත්තික තණ්හා
බාහිර තණ්හා
18 X2 = 36

අතීත තණ්හා
වර්තමාන තණ්හා
අනාගත තණ්හා
36 X 3 = 108

අභිධර්යට අනුව ලෝභ සිත් 08 කින් තණ්හාව හටගන්නවා ඇත. තණ්හාව දුරුකරගැනීම සඳහා සියලු දෙනාම උත්සාහ ගත යුතුය.
ඒ භාග්‍යවතුන් වහන්සේ ද්වේශ, ක්ලේශ වස්තුවෙන් දුරුවූ හෙයින් අරහං නම්වන සේක. තථාගතයන් වහන්සේගේ සන්තානයේ හටගත්  තරහාව සම්පූර්ණයෙන්ම දුරුකළ සේක. තරහාව, වෛරය, ඊර්ෂ්‍යාව, බද්ධ වෛරය, දැඩි මසුරුකම, පටිඝය, දොම්නස් යනාදිය තරහාව මුල්කරගෙන අපදිනවා. තරහාව මුල් කරගෙන ඕනෑම පවක් සිදුවීමට පුළුවන්. මෛත්‍රී භාවනා කිරීමෙන් තරහාව දුරුකර ගැනීමට පුළුවන්.  තරහාව යනු සිත අඳුරු කරන, යහපත් දේ නොපෙනෙන, හොඳ නරක නොහඳුනන දෙයක්.
තරහාව නාගරාජයෙකුට උපමාකර තිබෙනවා. නාගයෙක් වගේ බොහොම දරුණු දෙයක් තමයි තරහාව. අනන්ත බුද්ධාදී උතුමන් මේ පටිඝ චේතනාව දුරු කළා. සියලු ලෝකවාසී සත්වයන්ට පටිඝය දුරු කිරීම සඳහා අවවාද අනුසාසනා කළා. පටිඝය හෙවත් තරහාව දුරු වෙන්නේ අනාගාමී මාර්ගඵල අවස්ථාවට පත්වූවාම‍. අනාගාමී ආර්යන් වහන්සේ තරහාව දුරුකළ නිසා ඉතාම පිවිතුරු, ලස්සන අලංකාර ජීවිතයක් ගත කරනවා. මරණින් මතු සුද්ධාවාස බ්‍රහ්මලෝකයේ උපත ලබනවා. පටිඝයත් තෘෂ්ණාවත් දුරුකළ අපගේ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවායි  නමස්කාර කරමු. නමස්කාර වේවා.
ඒ භාග්‍යවතුන් වහන්සේ මෝහය දුරුකළ නිසා අරහං නම් වන සේක. මෝහය යනු මුලා කරවීමයි. නිසි අරමුනෙහි නොපිහිටීම එහි ලක්ෂණයයි. චතුරාර්‍ය සත්‍ය අවබෝධ නොවීම යැයිද කියනවා. යම් සිතක මෝහය යෙදුනොත් එම සිත ප්‍රභාශ්වර නැහැ. ශක්තිමත් නැහැ. කුසල කර්මයක් කරන වේලාවේ මෝහය යෙදුනොත් පිංකම අසම්පූර්ණයි. සිතට දැනෙන මහා අඳුරකි. එම අඳුර දුරු කරගැනීම සඳහා ප්‍රඥාව පහල කරගත යුතු වෙනවා. ප්‍රඥාව යනු අමෝහයයි.
නුවණ පහල කර ගැනීම සඳහා මෙම කරුණු රාශිය අතරින් එකක් හෝ පහල කරගත යුතුයි.
  1. ඤානය වැඩෙන කුසල් කිරීම.
  2. නිරෝගී සුව ඇතිව ඉපදීම.
  3. දැන තේරෙන වයසට පත්විය යුතුයි.
  4. දානාදි කුසල් කිරීම නිසා කෙලෙස් අඩුවීම.
  5. බුදුගුණ සිහිකිරීම.
  6. ධර්‍මය සාකච්ඡා කිරීම.
  7. ආධ්‍යාත්මික බාහිර පිරිසිදු බව.
  8. ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් සම බවට පත් කර ගැනිම.
  9. මෝඩ පුද්ගලයන් ආශ්‍රය නොකිරීම.
  10. ඤාණවන්ත පුද්ගලයන් ඇසුරු කිරීම.
  11. නුවණ දියුණු කිරීම සඳහා කටයුතු කිරීම.
  12. ගැඹුරු දහම් මෙනෙහි කිරීම.
  13. ඤාන සම්ප්‍රයුක්ත උපතක් ලැබීම.

ඒ භාග්‍යවතුන් වහන්සේ මොහය දුරුකොට මහා ප්‍රඥාවක් උදාපත් කරගත්හ. අනන්ත ඤාන සම්භාරයක් පහළ විය. මෙසේ අනන්ත ඤාන ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේ හට මාගේ උත්තමාංග නමස්කාරය වේවා.
ඒ භාග්‍යවතුන් වහන්සේ මාන්නය දුරු කළ නිසා අරහං නම් වන සේක. මාන්නය ඉතා සියුම් විදියට සිතේ හටගන්නවා. ඉතා පවිටු සිතිවිලි සිතේ පහළ කරවන, අපා ගමනට යොමු කරවන, චෛතසිකයකි මාන්නය. බුදුරජාණන් වහන්සේ ඒ මාන්නය නැවත හට නොගන්නා ආකාරයට ප්‍රහාණය කළා.
මාන්නයෙන් කෙනෙක් මැරුණොත් වඳුරෙක්, සුනඛයෙක් වී ඉපදෙනවා. එම ආත්ම වලදී බොහෝ පව් කොට නැවත අපා ලෝකවල වැටී බොහෝ දුක් විඳිනවා. එසේ නම් මේ මාන්නය හොඳ දෙයක් නෙවෙයි. මෙලොව පරිහානිය පරලොව පරිහානිය දෙලොවම පරිහානිය සිදුවෙලා නිරා දුක් විඳිමින් අපමණ කාලයක් දුක් විඳීමට සිදුවෙනවා. මාන්නය දුරුකළ රහතන් වහන්සේ සුවසේම වාසය කරනවා.
රාහුල මහරහතන් වහන්සේ නිහතමානී උතුමන් අතර අග්‍ර වුණා. සැරියුත් මහරහතන් වහන්සේද ඉතා සුවච නිහතමානී මහ රහතන් වහන්සේ නමක්. දවසක් භික්ෂූන් වහන්සේ නමක් සැරියුත් මහරහතන් වහන්සේට චෝදවක් කළා. මහා පිරිවර පිරිවරාගෙන මාන්නයෙන් උඩඟුවෙලා මගේ ඇඟේ හැප්පීගෙන ගියා. සමාව ගත්තේ නෑ කියලා. සැරියුත් මහරහතන්වහන්සේගේ පිරිවර සහ දේහ සම්පත්තිය දැකීමෙන් එම භික්ෂූන් වහන්සේට ඊරෂියාවක් ඇතිවුණා. බුදුරජාණන් වහන්සේ ලඟට ගෙන්වා විමසුවා ඇත්තක්ද? සාරිපුත්ත මේ භික්ෂුවගේ ඇඟේ හැපී සමාව ගත්තේ නැතුව ගියා කියන්නේ. ඒ වෙලාවේ සැරියුත් මහ රහතන් වහන්සේ මහා සංඝයා ඉදිරිපිට මහා සිංහනාදයක් කළා.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ වාසනා සහිතවම මාන්නය ප්‍රහාණය කළා. මොන තරම් ශිෂ්‍ය පිරිසක් සිටියත්, සිවුපසය ලැබුණත් උද්දාමයට පත්වෙන්නේ නැහැ. අති නිහතමානී වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මාන්න සිඳ  බිඳ දැමූ හෙයින් අරහං නම් වන සේක. ඒ අරහං ගුනයෙන් සමන්නාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා.

Share this

Related Posts

Previous
Next Post »