සසර නම් සිර ගෙයක් වැනිය. වධකාගාරයක් වැනිය. ඉපදෙමින් මියැදෙමින් නේක වධබන්ධනයන්ට මේ සත්වයෝ පත්වෙති. කතරෙක මිරිඟු පසුපස වේගයෙන් හඹා යන මුවන් සේ සසර කතරේ රූප ශබ්ධ ගන්ධ රස ස්පර්ශ යන මිරිඟු පසුපස දුවන මේ සත්වයෝ ඒවායේ යථා ස්වභාවය නොදැන ඒවා මත්තෙහිම වෙහෙස වෙති. ඒවාම සොයති. ඒවා කෙරේ මුලාවෙන්ම කටයුතු කරති. මේ සසර කතරේ බුද්ධ සාසනය නම් කෙන්බිම මේ භවයේදී අපට හමුවිය. එසේ වූයේ අතීතයේ අප මොහොතකට හෝ නැවතී මේ ගමනේ අර්ථ විමසූ හෙයිනි. නැවතී හිස ඔසවා වටපිට බැලූ හෙයිනි. මේ ලැබූ කෙන්බිම තුල සිහියෙන් කටයුතු කර අවබෝධ කරගත යුතු සත්‍ය අවබෝධ කරගැනීම උදෙසා වීර්යය වැඩිය යුත්තේය. කොයි වෙලාවක වුවද මරණය පැමිණිය හැකිය. බොහෝ උදවියට තමා මැරෙන කෙනෙකු බව වත් සිහි නොමැත. කිසිදා නොමැරෙන අය සේ මුලාවෙන්ම කටයුතු කරති.එසේ සිට මියගොස් සත්වයාගේ නිවහන වන් සතර අපායේ උපදිති. දුකෙන් දුකටම වැටෙති. බුදු සසුන නම් කෙන්බිම හමුවූ අපට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මේ සතර අපායෙන් මිදෙන්නටත් ඉන් මිදී නිවන කරා යන්නටත් මග කියාදී තිබේ. අපට ඇත්තේ නුවණ ඇතිව ඒ මග යාමය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන මේ සතර අපායෙන් මිදෙන මග කියාදෙන රාජ සූත්‍රය මෙසේ දක්වන්නෙමු.
මහණෙනි, සක්විති රජ සතර මහ දිවයිනෙහි ඓශ්චර්යාධිපති රාජ්‍යය කරවා කය බහා තබා මරණින් මතු තව්තිසා වැසි දෙවියන් හා එක්වීමට දෙව්ලොව පැමිණියත්,
ඔහු එහි නන්දන වනයෙහි අප්සරා සමූහය පිරිවරා ගෙන දිව්‍යමය පංචකාම ගුණයෙන් යුක්තව, සමන්විතව, ඉඳුරන් පිනවූවත්, ඔහු ධර්ම හතරකින් යුක්ත නොවූයෙකි.
එහෙයින් ඔහු නිරයෙන් නොමිදුනෙකි. තිරිසන් යෝනියෙන් නොමිදුනෙකි. ප්‍රේත විෂයයෙන් නොමිදුනෙකි. වැටී යන දුගති අපායෙන් නොමිදුණෙකි. මහණෙනි,
ආර්ය ශ්‍රාවකයා පිණ්ඩාහාරයෙන් යැපුණත්, කඩමලු දැරුවත් ඔහු ධර්ම හතරකින් යුක්ත වූවෙකි. එබැවින් ඔහු නිරයෙන් මිදුණෙකි, තිරිසන් යෝනියෙන් මිදුණෙකි,
ප්‍රේත විෂයයෙන් මිදුනෙකි, වැටී යන දුගති අපායෙන් මිදුනෙකි.
කුමන සතර ධර්මයක්ද? මහණෙනි, මෙහි ආර්ය ශ්‍රාවකයා මේ කරුණු වලින් ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත් සේක, සම්මා සම්බුද්ධ වන සේක, විජ්ජාචරණ සම්පන්න වන සේක, සුගත වන සේක, ලෝකවිදු වන සේක, අනුත්තර පුරිසදම්ම සාරථි වන සේක, දෙව් මිනිසුන්ට ශාස්තෘ වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක කියා බුදුන් විෂයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාල ධර්මය ස්වාක්ඛාතයි, සන්දිට්ඨිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනයිකයි, විඥයන් විසින් තමා තමා තුලම දත යුත්තකි කියා ධර්මය විෂයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙයි. භාග්‍යවත්න් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි, උජුපටිපන්නයි, යපටිපන්නයි, සාමීචිපටිපන්නයි, යුගල වශයෙන් හතරකුත් පුද්ගලයන් වහයෙන් අටකුත් වන භාග්‍යවතුන් වහන්සේගේ ඒ මේ ශ්‍රාවක සංඝයා ආහුන්‍යෙයි, පාහුන්‍යෙයි, දක්කිණෙය්‍යයි, අඤ්ජලිකරණෙය්‍යයි, ලෝකයට අනුත්තරවූ පින් කෙතයි කියා සංඝයා කෙරේ ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙයි. කඩ නොවූ. සිදුරු නොවූ, කබර නොවූ, කැළැල් නොවූ, නිදහස්, නුවණැත්තවුන් විසින් පැසසූ, තණ්හා දිට්ඨි වලින් පරාමර්ශ නොකළ, සමාධිය සඳහා වූළ ආර්යයන් කැමති ශිලයෙන් යුක්ත වෙයි.
මහණෙනි, යම් සතර මහ දිවයිනක් ලැබීමක් ඇත් නම්, යම් සතර ධර්ම ලැබීමක් ඇත් නම්, සතර මහ දිවයින් ලැබීම සතර ධර්ම ලැබීමෙහි දහසෙන් පංගුවක් වත් නොවටනේය.