වත්තබ්බක නිග්‍රෝධ සාමණේරයෝ


වත්තබ්බක නිග්‍රෝධ සාමණේරයන් විසුයේ ලක්දිව බැමිණිතියා සාය යන නමින් ප්‍රසිද්ධ මහා දුර්භික්ෂය පැවති කාලයේය. ජීවත් විය නොහැකි හෙයින් බොහෝ මිනිසුන් ගම් හැර කඳුකරයට වැද කැළෑ කොළ බුදිමින් ජීවත් වන්නට පටන් ගත්තෝය. බොහෝ භික්ෂුහු මහ සමුදුර තරණය කොට දඹදිවට යා ගත්හ.
වත්තබ්බක නිග්‍රෝධ සාමණේරයන් හා එතුමන්ගේ උපාධ්‍යායෝ දඹදිව නොගොස් මෙහිම විසූහ. ඒ දෙනම ද "කොළ බුදින මිනිසුන් ඇසුරෙන් ජීවත් වන්නෙමු" යි ප්‍රත්‍යන්තය බලා ගමන් ගත්හ. ඒ දෙනමට සත් දිනක්ම කිසි අහරක් නෙලැබුණේය. සත් දිනකින් පසු සාමණේරයෝ පාළු ගමක තල් ගසක ගෙඩි දැක. "ස්වාමීනි, මදක් නවතිනු මැනව, තල්ගෙඩි කඩා වළඳමුය" යි
උපාධ්‍යායන්ට කීහ. උපාධ්‍යායන් වහන්සේ " සාමණේරය, ඔබ දුබලව සිටින්නෙහිය, තල් ගසට නොනැඟෙව" යි කිහ. "නැඟෙමි ස්වාමීනී" යි කියා සාමණේරයෝ කුඩා පිහිය ද ගෙන තල් ගසට නැගුණාහ. සාමණේරයන් තල් ගෙඩි කපා හෙලන්නට තැත් කරත්ම පිහියා තලය ගැලවී බිම වැටිණ. මහ තෙරුන් වහන්සේ දුබලව ඉන්නා සාමණේර නම දැන් කුමක් කෙරේදැයි බලා උන්හ. නුවණැති සාමණේරයෝ තල්පතක් ඉරා පිහියා මිට එහි බැඳ තවත් තල්පත් ඉර ඉරා එකිනෙකට ගැටගසමින් පිහියා මිට බිමට එවූහ. උපාධ්‍යායෝ පිහි තලය එහි බහා ලූහ. සාමණේරයෝ එය ගෙන තල්ගෙඩි කපා හෙළූහ. මහ තෙරහු පිහිය බිම හෙළවා තල් ගෙඩියක් කපා තබා සාමණේරයන් බිමට බට කල්හි "දුබල වූ ඔබ මෙය වළඳව" යි කීහ. ගුරු භක්තිය ඇති සාමණේරයෝ ඒ අමාරු අවස්ථාවේදී ද ස්වකීය ආචාර්‍ය්‍යයන් වහන්සේට කලින් නො වැළඳූහ. "නුශ වහන්සේට පළමුව මම නොවළඳමි" යි කියා, තල්ගෙඩි කපා මද උපුටා ආචාර්‍ය්‍යයන් වහන්සේට පිළිගන්වා පසුව සාමණේරයෝ වැළඳූහ. ඒ දෙනම තල් ගෙඩි ඇති තෙක් එහි වැස ඉන් නික්ම කොළ බුදිනා මිනිසුන් වෙසෙන පෙදෙසෙහි එක් පාළු පන්සලකට පැමිණියෝය. සාමණේරයෝ තෙරුන් වහන්සේට වාසය කිරිමට තැනක් පිළියෙල කළහ. මහ තෙරණවෝ සාමණේරයන්ට අවවාද කොට එහි පිවිසියහ.
සාමණේරයෝ "අතීතයේ දි විපත්වලින් මැරෙන්නට සිදුවූ ආත්මවල ප්‍රමාණයක් නැත. ජීවත් වන මේ ටික කාලයේදී බුද්ධෝපස්ථානයක් කරමි" යි සිතා සෑ මළුවට ගොස් එය පිරිසිදු කරන්නට වන්හ. නිරාහාරත්වයෙන් ක්ලාන්තව සාමණේරයෝ බිම ඇද වැටුනාහ. ඉක්බිති එහි වැතිර සිට තෘණ ගලවන්නට පටන් ගත්හ. කැළෑවෙහි ඇවිදින්නට ගිය මිනිසුන් සමූහයක් මී කඩාගෙන එන්නාහු
තෘණ සෙලවෙනු දැක මුවෙක්දෝයි විමසන්නාහු සාමණේරයන් දැක කරුණු විමසා ඔවුනට මී වද පිළිගන්වා "මේවා මහ තෙරුන් වහන්සේටද දී වළඳා මහතෙර නමත් කැඳවාගෙන අප වෙසෙන තැනට එන සේක්වා" යි ආරාධනා කොට ගියහ. සාමණේරයෝ තෙරුන් වහන්සේට සිදුවූ පුවත් සැල කොට මී වද මිරිකා පානයක් සාදා පිළිගැන්වූහ. මිනිසුන් ඔවුන් වසන තැනට එන්නට ආරාධනා කොට ගිය බවද
තෙරුන් වහන්සේට දැන්වූහ. එකල්හි තෙරුන් වහන්සේ උදෑසන යාම අපහසුය. දැන්ම ම එහි යමුය යි කියා පා සිවුරු ගන්වා සාමණේරයන් හා පිටත්ව ගොස් ඒ මිනිසුන් වෙසෙන සමීපයේ සැතපුණාහ. ඒ සාමණේරයෝ පැවිදි වූ තැන් පටන් ම ආරණ්‍යක ධුතංගය රකින්නාහුය. ආරණ්‍යකයෝ අරුණ නැගෙන තුරු ගමක නොවෙසෙති. වුවමනාවක් සඳහා ගමකට ඇතුළු වූවාහුද අරුණ නැගීමට පෙරාතුව ගමෙන් බැහැර වෙති. එබැවින් සාමණේරයෝ අරුණට පළමුව නැගිට පාත්‍රයද ගෙන ගමෙන් පිටගට ගියහ. මහතෙරණුවෝ රාත්‍රියෙහි සාමණේරයන් නොදැක මිනීමස් කන්නවුන් විසින් සාමණේරයන් ගෙන යන්නට ඇතැයි සිතා
ගත්හ. අරුණු නැගුණු පසු සාමණේරයෝ පාත්‍රයට පැන් හා දැහැටිද ගෙන තෙරුන් වහන්සේ කරා පැමිණියහ.
එකල්හි මහ තෙරුන් වහන්සේ "සාමණේරය, ඔබ නොවිචාරා රාත්‍රිෙයහි පිටතට ගොස් ගුරුන්ගේ සිිත රිදවූයෙහිය, ඒ වරදට දඩුවම් විඳිය යුතුය." යි කීහ. සාමණේරයේ දඬුවම් ලැබීමට නිසි කිසි වරදකි තමන් අත නැතද, වැඩි කතාවට නොගොස් "එසේය ස්වාමීනි" යි කියා ගුරු ගෞරවයෙන් එය පිළිගත්හ. මහ තෙරුන් වහන්සේ මුව සෝදා සිවුරු පොරවා ගත්හ. ඉක්බිති දෙනම ම මිනිසුන් වෙසෙන තැනට ගොස් ඔවුන්ගෙන් ලත් දෑ වළඳා විහාරයට පෙරළා ආහ. සාමණේරයෝ මහ තෙරුන් වහන්සේගෙන් පා සෝදන්නට ඇසූහ. එකල්හි තෙරුන් වහන්සේ "සාමණේරය, තෙපි රාත්‍රිෙය් කොහි ගොස් අප සිතට කරදර කළාහු දැ" යි ඇසූහ. එකල්හි සාමණේරයෝ "ස්වාමීනි, මා කිසි දිනක අරුණු උදා වන තෙක් ගමක වාසය කර නැත. එබැවින් අරුණට පළමු නැගිටගමින් පිටතට ගියෙමි " යි කීහ. මහතෙරුන් වහන්සේ "සාමණේරය, එසේ නම් දඬුවම් ලැබිය යුත්තෝ තොප නොව අපම නොවෙත්දැ" යි කියා ඒ විහාරයෙහිම විසූහ.
එ් මහතෙරුන් වහන්සේ අනාගාමී කෙනෙකි. පසු කාලයේදී උන්වහන්සේ මිනීමස් කන්නවුන්ට අසු වූහ. පරම ගුරු භක්තියෙන් යුක්ත වූ සුවච වූ "වත්තබ්බක නිග්‍රෝධ සාමණේරයෝ" මහතෙරුන්ගේ අනුසාසනාව පරිදි
පරෙස්සම් වී සිට නැවත රට සශ්‍රීක වූ පසු උපසම්පදාව ලබාසුප්‍රසිද්ධ ත්‍රිපිටකධාරී මහතෙර නමක් වූහ.

Share this

Related Posts

Previous
Next Post »